වීරවංශට හොර මෙඩිකල් හදා දුන් දොස්තරට වැඩ වරදින ලකුණු!
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඔහු රෝගීව සිටින බව තහවුරු කෙරෙන ආකාරයේ වෛද්‍ය සහතිකයක් නිකුත් කළ පානදුර ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකුට අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (18) සිතාසි නිකුත් කළා.
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 75කට අධික මුදල් හා දේපොළක හිමිකාරීත්වයක් දැරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පනවා ඇති අල්ලස් නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අසනීප බව දන්වා අධිකරණය ඉදිරියේදීයි පෙනී නොසිටි විත්තිකරුට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය දුන්නේ.
සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවියගේ මෙහෙය වීම යටතේ පැමිණිල්ලේ 2 වැනි සාක්ෂිකරු ඊයේ (18) සාක්ෂි දීමට ඉදිරිපත් වුණා.
එහිදී විමල් වීරවංශගේ මන්ත්‍රී ආරක්ෂකයා ලෙස ක්‍රියා කරන උප පොලිස් පරීක්ෂක එම්. සිරිරත්න අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් ඉදිරිපත් කළ වෛද්‍ය සහතිකයක් ජනාධිපති නීතිඥ ජයන්ත ප්‍රනාන්දු විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් සිය සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවට කරුණු දක්වා සිටියා.
එම වෛද්‍ය සහතිකය අධිකරණය ඉදිරියේ කියවනු ලැබූ අතර විත්තිකරුට ආමාශ අන්ත්‍රයික (ගැස්ට්‍රයිටිස්) රෝගයක් පවතින බවයි එයින් කියැවුණේ.
පානදුර ප්‍රදේශයේ මෙඩිකෙයා නම් ආරෝග්‍ය ශාලාවක ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර තිබුණු එම වෛද්‍ය සහතිකයේ වෛද්‍ය අත්සන කේතුමතී නම් මාතෘ නිවාසයක රබර් මුද්‍රාව යටතේ කර ඇති බව කරුණු විමසීමේදී අනාවරණය වී තිබෙනවා.
පසුගිය 14 වැනිදා දින දාතම දරන එම වෛද්‍ය සහතිකය අනුව විත්තිකරු බලවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහු ඉදිරි දින 5ක් විවේක නිවාඩු ගත යුතු බව දක්වා තිබුණා.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ, මන්ත්‍රී ආරක්ෂක නිලධාරියාගෙන් විත්තිකරුගේ රෝගී තත්ත්වය ගැන වැඩිදුර කරුණු විමසූ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක එම්. සිරිරත්න පිළිතුරු දෙමින් කියා සිටියේ පසුගිය දින 3 තුළ විත්තිකාර මන්ත්‍රීවරයා නිවෙසින් පිටතට නොගොස් සිය කාමරය තුළම සිටි බවයි. පොලිස් නිලධාරියා එහි වගකීම දරමින් අධිකරණය ඉදිරියේ එම ප්‍රකාශයේ කළ බව නිගමනය කළ අධිකරණය ඒ පිළිබඳ තවදුරටත් කරුණු විමසීම කළා. එම අවස්ථාවේදී සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙයට පෙර අවස්ථා ගණනාවකදී රෝගී බව පවසා අධිකරණය මඟහැර සිටි බව හා ඒ අනුව සිතාසි නිකුත් කිරීමට ලක්ව ඇති බව සිහිපත් කර තිබෙනවා.
විත්තිකරු 2019 ඔක්: 02දා, 2021 පෙබ: 16දා, 2022 සැප්: 13දා, 2023 ඔක්: 27දා, 2023 දෙසැ: 12දා සහ 2024 මාර්තු 01දා වශයෙන් මෙයට පෙර අවස්ථා 7කදී බඩේ අමාරුව බව පවසා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව චුදිතට ප්‍රතිකාර කිරීමට අදාළ සියලු ලේඛනවල සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිරෝගා මෙඩි කෙයා බෙහෙත් ශාලාවේ වෛද්‍ය රොෂන් ලියනාරච්චිට නියම කළා.
– දිනමිණ වාර්තාවක් ඇසුරිනි