Chevron වෙතින්, ගංවතුරෙන් හානි වූ දිස්ත්‍රික්කවල  ළිං ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා, රතු කුරුස සංවිධානයට ඩොලර් 35,000 ක පරිත්‍යාගයක්

ඉකුත් ජුනි මාසයේ මුල් සතියේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් ප්‍රදේශයන්හි ළිං ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා Chevron Lubricants Lanka PLC (CLLP) සමාගම විසින් ඇමරිකානු ඩොලර් 35,000 ක පරිත්‍යාගයක් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත සිදු කිරීමට අදහස් කර ඇති බව දැනුම් දෙන ලදී. ඒ අනුව, කොළඹ  සහ මාතර දිස්ත්‍රික්කවලට  ගංවතුරින් සිදු වූ හානිය  සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයන්හි ළිං 1500 ක් පිරිසිදු කිරීම සඳහා එම පරිත්‍යාගය සිදුකෙරෙනු ඇත.

ගංවතු‌රෙන් විපතට පත් දිස්ත්‍රික්කවල පවුල් 1500 ක් සඳහා (ආසන්න වශයෙන් පුද්ගලයින් 7,500 කට) ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන මගින්, කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම, අවදානම් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන පුද්ගලයින් සිටින පවුල් සඳහා ප්‍රමුඛතාව හිමි වේ.  

ප්‍රධාන වශයෙන්ම, ගංවතුරින් විපතට පත් ප්‍රජාවට නැවතත් පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කරගනිමින් දියත් කෙරෙන මෙම ළිං-පිරීසිදු කිරීමේ වැඩසටහන ඔස්සේ, අපිරිසිදු ජලය මගින් බෝවන රෝග තත්ත්වයන් වළක්වා, මහජනතාවගේ සෞඛ්‍ය නැංවීමට කටයුතු කිරීම අපේක්ෂාවයි.

“ශ්‍රී ලංකාවේ පැවති ගං වතුර තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජීවිත හා ආදායම් මාර්ග අහිමි වීම ඇත්තෙන්ම කණගාටුවට කාරණයක්. වගකිව යුතු ආයතනයක් ලෙසින් අපි, මෙවැනි තත්ත්වයන්වලදී විපතට පත් ජනතාවට මානුෂීය ආධාර පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ සහන හා ප්‍රතිසාධන වැඩ කටයුතුවලට සහය දීමට කැප වෙනවා.” යනුවෙන් Chevron Lubricants Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී බර්ට්‍රම් පෝල් මහතා පැවසීය.

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ සභාපති කේ. බාලක්‍රිෂ්ණන් මහතා ද මෙලෙස අදහස් දැක්විය.  “මෙම ළිං පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා Chevron සමාගම පරිත්‍යාගශීලි සහයෝගය අප වෙත ලබාදීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. මේ සහයෝගිතාව සමගින් පිරිසිදු පානීය ජලය  සහ හදිසි සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය තවත් පවුල්වලට සහය දැක්වීමට අපට හැකියාව සැලසෙනවා. එම ජනතාවගේ ජීවිත නැවතත් හැඩගස්වාගෙන, පෙර පරිදි ගෞරවණීයව ජීවත් වීමට මේ ඔස්සේ හැකියාව සැලසේවි යැයි අපි අපේක්ෂා කරනවා.”

මෙම ළිං- පිරිසිදු කිරීමේ වැඩසටහන, මෙම මස (ජූලි) ආරම්භ කිරීමට නියමිත අතර, 2024 සැප්තැම්බර් මාසය වන විට, අදාළ ප්‍රදේශවල ළිං පිරිසිදු කර අවසන් කිරීමට එමගින් බලාපොරෙත්තු වේ. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ පළපුරුදු කාර්ය මණ්ඩලය හා ස්වේච්ඡාවෙන් එක්වන කාර්ය මණ්ඩලය ඒ සඳහා යොදවනු ලබන අතර අතර, අදාළ ප්‍රදේශවල රජයේ නිලධාරීන්  මෙන්ම ප්‍රජාවන්ද එම කටයුතු සඳහා එක් කරගනු ලැබේ. එම වැඩසටහනට සමගාමීව, සනීපාරක්ෂාව සහ ඒ සම්බන්ධ පිළිවෙත් සම්බන්ධයෙන්  මහජනතාව දැනුවත් කිරීමද සිදු කෙරේ. එමෙන්ම, මෙම වැඩසටහන යටතේ ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය පෙති හා සනීපාරක්ෂක කට්ටලද බෙදා දෙනු ලැබේ. 

1992 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකරන Chevron සමාගම, ලුබිරිකන්ට් සේවා සැපයීම සම්බන්ධයෙන් මෙරට වෙළෙඳ පොළ ප්‍රමුඛයා ලෙසින් කටයුතු කරයි. Chevron Corporation හි අනුබද්ධ සමාගම වන CLLP, ලොව ප්‍රමුඛතම ඒකාබද්ධ බලශක්ති සමාගම්වලින් එකක්ද වේ. Chevron සමාගම, මෙරට සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසරය හා ආර්ථිකමය ක්ෂේත්‍ර සවිබල ගැන්වීම සඳහා විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් දියත් කරමින්, සිය සමාජ වගකීම වෙනුවෙන් කැප වී කටයුතු කරයි. 

 

Chevron පිළිබඳව 

වඩාත් සමෘද්ධිමත් හා තිරසාර ලොවක් සඳහා දැරිය හැකි, විශ්වසනීය හා පිරිසිදු බලශක්තිය පිළිබඳ විශ්වාසය  තබන Chevron, ලොව ප්‍රමුඛ පෙළේ ඒකාබද්ධ බලශක්ති සමාගම්වලින් එකකි. සමාගම, බොර තෙල් හා ස්වභාවික ගෑස් නිෂ්පාදනය කරන අතර, ප්‍රවාහන සඳහා භාවිත කරන ඉන්ධන, ලුබ්රිකන්ට් හා ඛනිජ රසායනික මෙන්ම, ආකලනද එහි නිෂ්පාදන ලෙසින් වෙළෙඳ පොළට නිකුත් කෙරේ. එමෙන්ම, සමාගමේ ව්‍යාපාර කටයුතුවල දියුණුවට මෙන්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ඉවහල් වන තාක්ෂණික වැඩිදියුණු කිරීම්ද නිරන්තරයෙන් සිදුකරනු ලබන අතර, නිෂ්පාදන කාර්යයන්වලදී  කාබන් අවම වන පරිදි කටයුතු සිදුකිරීමටද අවධානය යොමුකර තිබේ. වැඩි විස්තර සඳහා www.chevron.com වෙත පිවිසෙන්න. 

 

ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පිළිබඳව

 

දිවයින පුරාම ස්වේච්ඡා සාමාජිකයින් 100,000 කගෙන් සමන්විත ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, මෙරට විශාලතම මානුෂීය සහන සංවිධානයයි. ශ්‍රී ලංකාවේ ගැටුම් හා ස්වභාවික විපත්වලට මුහුණපාන ජනතාවට සහාය පිරිනැමීම සඳහා එම සංවිධානය අප්‍රතිහත මෙහෙවරක නියැලෙයි. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පිළිබඳව හා එමඟින් සිදුකෙරෙන කාර්යභාරයන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට www.redcross.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 

 

ඡායාරූපය- (වමේ සිට දකුණට)

ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහීෂ් ගුණසේකර, ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ජගත් අබේසිංහ, Chevron Lubricants Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, බර්ට්‍රම් පෝල්, Chevron Lubricants Lanka PLC හි අලෙවි ප්‍රධානී ටෙහාන් සමරසිංහ සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ, වෛද්‍ය සිද්ධාර්ථ නානායක්කාර යන මහත්ම මහත්මීන් ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Translate »